
ගැලරිය...
ඒ වගේම
අවසාන සංකල්පයද නොවනු ඇති.
මා ගොඩනැගූ සංකල්ප අතරින්
වඩාත්ම සාර්ථක වූ සංකල්පයද නොවේ (අද වන විට).
නමුත්
මා නිර්මාණය කල සංකල්ප අතරින්
වඩාත්ම සිත් ගත් නිමැවුම වුනේ...
සුන්දර ආර්ට් ගැලරියයි.
ඡායාරූපකරණයේ අත්දැකීම් බෙදාගන්න ෆේස් බුක් තුල නිර්මාණය වූ සමූහ බොහොමයක් තියෙනවා. ඒ වගේම දිනපතාම බිහි වෙනවා. ගැලරිය පටන් අරන් තවම අවුරුද්දක්වත් වුනේ නැහැ. ගැලරියට කලින් බිහිවූ ඡායාරූපකරණයට වෙන් වූ සමූහ විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට ගැලරිය කියන්නේ මගේ සංකල්පයක් වෙන්නෙ කොහොමද?
ගැලරිය කියන්නේ කොපියක්ද?
මම ඡායාරූපකරණයට නවකයෙක්. මම ඡායාරූපකරණට ප්‍රිය වුනත්, කාලයක පටන් කුමක් හෝ කැමරාවක් මා ළඟ තිබුනත් මම ඡායාරූපකරණය ඉගෙන්ගන්න පටන්ගන්නේ ෆේස් බුක් සමූහයක් හරහායි. ඡායාරූපකරණයේ මගේ හැරවුම් ලක්ෂය මට මුණගැහුනේ ඒ හරහායි. මේ කාලේ වෙද්දි මගේ මිතුරියක් විදේශයකින් මා වෙත එවූ නිකෝන් කූල්පික්ස් එල් 120 තමයි මගේ ඡායාරූප සගයා වුනේ. ෆේස් බුක් සමූහයෙන් බෝ වුන උන නිසාම මමත් ගියා දෙහිවල. එතැනදි මට මුණගැහුනා මේ අපූරු මිත්‍රයාව. ටිකක් තරහින් හිටියත් මම අදටත් ආදරෙන් මතක් කරන් "මං තරහයි" පින්තූරය. මාව ටිකක් ඉහලට ඔසවලා තිබ්බා.
කෙසේ වෙතත් අදාල සමූහය අයාලේ යන බවක් මට දැණෙන්නට පටන්ගත්තා. එහි නායකයන් නමට පමණක් සිටින පිරිසක්(කාර්ය බහුලත්වය නිසා විය හැකියි) බව මට අවබෝධ වුනා. ඒ අතරම ඉන් සමහරක් විටින් විට නායකත්වයේ බලය ප්‍රදර්ශනය කරන්න පමණක් සමූහය පැත්තේ ඇවිත් යන බව මට ඒත්තු ගියා. ඒ වගේම සිතිවිලි පහල වූ කීපදෙනෙක් සමග අලුත් ගමනක් යන්න අලුත් වැඩකට මුල පිරුවා.
ඒ ආරම්භය ඉතා සාර්ථක එකක් වුනා. නමුත් ඒ ගමන කෙටි වුනා. මගේ මතය අනිත් අයගේ මතය සමග ගැලපුනේ නැහැ. මම ඉවත් වුනා. මම නැවත සමූහයක් අරඹන්න කිසිම අදහසක් තිබුනේ නැහැ. මේ අවස්ථාවේ පුද්ගලිකව මා එක්ක අදහස් හුවමාරු කරගත් කීපදෙනෙක් (අතුල සිරිවර්ධන, ගිම්හාන වෙදගේ) මාව උනන්දු කලා මේ වගේ නැවුම් වැඩකට (දැනුවත්ව හෝ නොදැනුවත්ව).
මම කල්පනා කලා ගොඩක්
සමූහ වැහි වැහැලා. එහෙම තියෙද්දි තව එකක් ඕනෙද? එහෙම පටන් අරන් මේක සාර්ථක වේවිද? ඒ වෙද්දි සමහර සමූහ වල නායකයින් මට අභියෝග කරලත් තිබුනා, පුළුවන් නම් සමූහයක් සාර්ථකව කරලා පෙන්වන්න කියලා. මම ඒ අභයෝගය බාර නොගත්තත්, මගේ මූලිකත්වයෙන් සමූහයක් ආරම්භ කිරීමෙන් මම ඔවුන්ට අභියෝග කරනවා ලෙස වැරදි වැටහීමක් ඇතිවීම වැලැක්විය නොහැකි බවත් මම දැන සිටියා. වෙන දෙයක් බාර ගන්න සූදානමින් මම වැඩේට මුල පිරුවා.
නමක්...?
The ART Gallery
මට හිතුනා ඒ නම සුදුසුයි කියලා. වැඩේ පටන් ගත්තා. සාමාජිකයේ එකතු කලේ නැහැ. සැලසුම් කලා. ඒ 2013 වර්ෂෙය් ජූලි මස 21වැනිදා. දින කීපයක් වන විට මගේ හිතවත්ම කීපදෙනෙක් විතරයි සමූහයට එකතු කරගත්තේ. මම පුද්ගලික හිතවතුන් කීපදෙනෙක් හැර කිසිවකු දැනුවත් කිරීමකින් තොරව සමූහයට ඇතුල් කලේ නැහැ. මම දන්න හැමෝටම වගේ පණිවිඩයක් ලෙස සමූහයේ ලින්ක් එක යැව්වා. සමහරු මට බැණලත් එව්වා. එත් ටික කලක් යද්දි අපිට යන්න පුළුවන් ගමන දිගු බව වැටහුනා. ඇඩ්මින්වරු කීපදෙනෙක් පත්කලා. මුලින්ම බිනර මල්ලි. පසුව මියුරුහංසි, මිහිඳු හා කවීණා.
ඒ අයගේ මූලිකත්වයට සමීර හා හර්ෂ යන දෙපළගේ දායකත්වය නොඅඩුව ලැබුනා.
අපි සමූහය ආරම්භකරලා දෙමසක් ගතවෙන්නට මත්තේන් මීගමුව කේන්ද්‍ර කරගෙන පුංචි හමුවක් සංවිධානය කලා. අරමුණ වුනේ ඊළඟට සංවිධානය කිරීමට නියමිත වැඩසටහන් වලට අවශ්‍ය සහයෝගය හා අදහස් ලබාගැනීමයි. සුහද හමුවට ලියාපදිංචි වන පිරිස හිතුවට වඩා වැඩි වත්ම අපි වඩා ප්‍රයෝජනවත් වන ආකාරයේ පුංචි වැඩමුළුවක් බවට පරිවර්ථනය කලා. අපි දෛනිකව සමූහයට ලැබෙන පින්තූර අතරින් දින 20ක් තුල ලැබුනු හොඳම පින්තූර තුන තෝරාගෙන ඒ ජයග්රාහකයින්ට ත්‍යාග ලබාදුන්නා. මේ වැඩමුළුව පුරා අපි සමග සිටි මෙන්ඩිස් වික්‍රමසිංහ අයියාව සිහිපත්කරන්නේ ගෞරවයෙන්.
ජයග්‍රාහකයින් ලෙස ශාමන් ප්‍රනාන්දු, අමන්ද ඉන්ද්‍රචාප වගේම දසුන් වානගුරු ත්‍යාග ලැබුවා. සාමාජිකයන් 75ක් පමණ වැඩමුළුවට සහභිගී වුනා.
මේ වැඩමුළුවත් සමගම බොහෝ අය අපිට බලපෑම් කරන්නටත් විවිධ මඩ ප්‍රහාර එල්ල කරන්නටත් පටන් ගත්තා. මම හිතනවා අපි සාර්ථකව ඒ අවස්ථාවලට මුහුණ දුන්නා කියලා. කවුරු මොනවා කිව්වත් අපි අපේ ගමන සැලසුමක් ඇතිව කරගෙන ගියා.
ඒත් එක්කම අපි අපේ මුල්ම වැඩමුළුවට සූදානම් වීම ආරම්භ කලා. ඒත් ඒ වැඩමුළුව වඩා සංකීර්ණ එකක් නිසා බොහෝ දේ සැලසුම් කරන්න අපිට කාලය අවශ්‍ය වුනා. මේ අතර මීගමුවේ පැවති සුහද හමුවෙදි අපට හමුවුනා අපූරු මිත්‍රෙයක්. උමංග... උමංග රත්නායක. ඔහුගේ අදහසක් අනුව අපි සූදානම් වුනා නකල්ස් සංචාරයට. සම්පූර්ණ සංවිධාන ශක්තිහ උමංගගෙන්. ඔහුට චන්දික අයියා ඇතුලු කීපදෙනෙක් සහයවුනා. අතිශය සාර්ථක හා සුන්දර ගමනක්. බොහෝ අත්දැකීම් ලද චාරිකාවක්.
චාරිකාව නිමාවෙන් පසු මියුරුහංසි ඇගේ ඇඩ්මින්ධූරයෙන් ඉවත් වුනා. ඇයගෙන් ඇතිවුන හැදැස පුරවන්න අපි විහඟ මල්ලිව පත්කලා.
අපි නැවත අපේ කොළඹ වැඩමුළුවේ වැඩ පටන්ගත්තා. එහෙම වැඩකරන් යද්දි අපිට හරි අපූරු අවස්ථාවක් උදාවුනා. අතිශය දක්ෂ ඡායාරූපශිල්පියෙක් වන ෂෙශාද් නුරානි මහත්මයා ඒ අවස්ථාවේ ලංකාවට පැමිණ සිටියා. ඔහුව මුණගැසී ටික වේලාවක් කතා බහ කරන්න හා ඔහුගේ අත්දැකීම් බෙදාගන්න අපිට අවස්ථාව සලසා දුන්නේ අතුල සිරිවර්ධන මහත්මයා බව මම සිහිපත්කරන්න කැමතියි. ඒ අවස්ථාව හරිම නැවුම් අත්දැකීමක් වුනා. ලොව වටා සංචාරය කරමින් ඡායාරූප වාර්ථාකරණයේ යෙදෙන මේ අපූරු මිනිසා අපි සමග බොහොම ලෙන්ගතුව කාලය ගතකලා. ඒ කොළඹ කැෆේ චේ අවන්හලේදී. ඉතාම කෙටි දැනුම්දීමකින් මේ අවස්ථාවට සහභාගීවූ අපේ මිතුරුකැල මම මේ මොහොතේ සිහිපත් කරමි.
එහිදී එකතුකරගත් අලුත් අත්දැකීම් අපි බොහෝදෙනෙක් එක්ක බෙදාගත්තා. නැවත දිනක නුරානි මහතාව මුනගැහෙන්න බලාපොරොත්තුවෙන් අපි සමුගත්තා.
මේ අතර අපිට විශේෂ ආරාධනාවක් ලැබුනා ගම්පහ රිජන්ට් ජාත්‍යන්තර පාසැලෙන් දිනක වැඩමුළුවකට. අපිට
ඒ අවස්ථාව ඉතාම සුවිශේෂි එකක් වුනා. මේ තමයි අපි පාසැලක පැවැත්වූ මුල්ම වැඩමුළුව. සංචිධානයෙන් දායක වුනේ අශී පෙරේරා සොහොයුරියයි. හරිම උනන්දුවෙන් වැඩමුළුවට සහභාගී වුන ළමයි ටිකක් එක්ක ලස්සන දවසක් ගතකරන්න අපිට අවස්ථාව අපිට උදාවුනා. මේ අවස්ථාව අපිට ලබාදුන් රිජන්ට් ජාත්‍යන්තර පාසලේ විදුහල්පති තුමා ඇතුලු සියල්ලන් ගෞරවයෙන් සිහිපත් කරන්න මේ අවස්ථාව යොදාගන්නවා.
ඔය අතර අපිට උපුල් දයාවංශ අයියාගේන් ලැබුනා හොඳ තල්ලුවක්.
එයාගෙ මූලිකත්වයෙන් අපි පටන් ගත්තා පුංචි ක්ෂේත්‍ර සංචාර. පොඩියට පටන්ගත්තු ඒ වැඩේ අතිශය සාර්ථක වුනේ ආනවිලුන්දාවේ සංචාරයත් සමගයි. අවසන් මොහොතේ හෝ මෙන්ඩිස් අයියාවත් සංචාරයට එකතු කරගන්න ලැබීමත් හරිම අපූරු අත්දැකීමක් වුනා. බලාපොරොත්තු නොවූ තරම් සාමාජිකයන් පිරිසක් එක්ක අපි ඒ සංචාරය සාර්ථකව නිම කලා. මුලින් බස් එකේ යන්න හිටපු අපි පසුව කාර් එකකින් යන්නත් තෙවනුව වෑන් එකක යන්නත් අවසානයේ වෑන් රථයක හා කාර් රථ දෙකක යන්න තරම් පිරිසකුත් එකතු වුනා.
අපේ බලාපොරොත්තුවේ දවස උදාවන්නේ ඉන් අනතුරුවයි. අස්වැද්දුම කොළඹ අපි මෙතෙක් සංවිධානය කල දැවැන්තම වැඩමුළුව කොළඹදී පැවැත්වුනේ අති සාර්ථක අන්දමිනුයි. සම්පත් දායකයින් ලෙස රසාංග දිසානායක මහතා, ඉන්ද්‍රනාථ තේනුවර මහතා සහ මෙන්ඩිස් වික්‍රමසිංහ මහත්මා සහභාගී වුනා. මේ වැඩමුළුව සාර්ථක කර ගැනීමට විශේෂ දායකත්වයක් සැපයූ සංඛ විදානගම මහතාවත් මේ මොහොතේ සිහිපත් කරන්න කැමතියි. ඇඩ්මින් මඩුල්ලේ නොමසුරු කැපවීමත් අස්වැද්දුම කොළඹ වැඩමුළුවට සමගාමීව පත්කල ක්‍රියාකාරී කමිටුවේ පරිශ්‍රමයත් හමුවේ සාමාජිකයන්ට අපූරු අවස්ථා රැසක් ලබාගතහැකි වුනා. මේ වැඩමුළුව වෙනුවෙන් කැමරා එල් කේ ආයතනය ලබාදුන් දායකත්වයත් සිහිකල යුතුමයි.
සමූහය නැවත සක්‍රීය තලයකට ගෙණෙන්න අපිට ගතවුනේ ඉතාම කෙටි කාලයයි. සමූහයේ පරිපාලනය අසීරු වන මට්ටමට සීඝ්‍ර වර්ධනයක් ලබන්න ගැලරිය සමත් වුනා. ඒ අතරතුර අපි විල්පත්තු ක්ෂේත්‍ර චාරිකාවක් සංවිධානය කලා. මූලිකත්වය අරන් සංවිධායක කටයුතු බාරගත් කවීණා සොයුරියට මේ මොහොතේ සිහිපත් කරමි. ඒ වගේම විල්පත්තු සංචාරයේදී අපිට දැණුමෙන් දායකත්වය සැපයූ ධනුෂ්ක සේනාධීර ඇතුලු පිරිසත් අමතක කරන්නම බැහැ.

තවදුරටත් ක්ෂේත්‍ර චාරිකා වැඩසටහන් පෙළ ඉදිරියටම ගෙන යන්න විල්පත්තු සංචාරය අත්වැලක් වුනා.
මේ යුගයේ අපි ආරම්භ කල දිනක් තුල වැඩිම Like ප්‍රමාණයක් ලබාගන්නා ඡායාරූපයෙන් කවරය සැරසීමේ වැඩපිළිවල අතිශය ජනප්‍රිය වුනා.
සමූහයේ වර්ධනය තව දුරටත් වැඩි වත්ම පාලන ව්‍යුහය වඩාත් පුළුල් කරනු පිණිස සමූහයේ මූලික නායකයෙක් වූ සමීර වීරසිරි හා නවක දක්ෂයෙක් වූ චතුරුක රණවක ඇඩ්මින්වරුන් ලෙස පත්කරනු ලැබුවා.
මේ අවධියේදී අප ආරම්භ කල Admin's Choice වැඩසටහනත් සාර්ථකව දැනටත් ක්‍රියාත්මක වෙනවා.
චතුරුකගේ මුල්ම ප්‍රවේශය සටහන් කරමින් සංවිධානය කල ගාලු සංචාරය සාමාජිකයන් රැසකගේ සහභාගීත්වයෙන් නිම කලා. එහිදී අමිල් දුමින්ද මහතා ලබාදුන් දේශනය අතිශය සිත්ගන්නාසුළු වුනා. ගාල්ල කොටුව අවට සැරිසරමින් ඡායාරූප දඩයමේ යෙදීම බොහෝ දෙනෙක්ට අලුත් අත්දැකීමක් වුනා. අතිශය සාර්ථක පින්තූර රැසක් දැකගන්න අපිට ගාලු සංචාරය මග පෑදුවා.
මේ සියල්ල අතරේ අපි ලද තවත් අවස්ථාවක් වන්නේ Good Market තුල ඡායාරූප ගැනීමේ අවස්ථාව ගැලරියට හිමිවීමයි. තවම මූලික අවධියේ ඇති මෙම වැඩසටහන ඉදිරියේදී වඩා පුළුල්ව සාමාජිකයන් අතරට ගෙනයාමට බලාපොරොත්තු වෙනවා.
දැනට ඉදිරියේදී සැලසුම් කරඇති මූලික වැඩසටහන් ලෙස මැයි මස 23වැනිදා ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ පැවැත්වීමට නියමිත වැඩමුළුවත් ජූනි මස 02වැනි දින සංවිධානය කෙරෙන බණ්ඩාරවෙල විශාකා විද්‍යාලයීය වැඩමුළුවත් ජූලි මස පැවැත්වීම සඳහා දැනට සංවිධාන කටයුතු කෙරෙමින් පවතින සෙන්කඩගල සේයා වැඩමුළුවත් සැප්තැම්බර් මස ගම්පහදී පැවැත්වීමට නියමිත වැඩමුළුවත් සඳහන් කරමි.
ඒ සියල්ලට පෙර අපි සූදානම් කර ඇති මීගමු සංචාරය මැයි මස 17වැනි සෙනසුරාදාට යෙදී ඇත.
මේ ආරම්භයක් පමණයි.
තව බොහෝ දුර යායුතුයි. එන්න අප හා එක්ව ඒ දිගු ගමන යන්න.
ජය!










